New Muslims APP

ෙදවියන්ෙග් ශක්තිය හා බලය God’s power and strength

අල්ලාහ්

අල්ලාහ්

ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප ඉස්මතු කරන මතවාදයන් ද දක්නට ලැබේ. නිදසුනක් ලෙස පවසනවා නම් ලොව එක් දහමක් බහුදේව සංකල්පය ප්‍රතික්ෂේප කරන විට තවත් දහමක් බහු දේව සංකල්පය අවධාරණය කරයි. එසේම එක් දහමක් දෙවියන් සර්වබලධාරී යයි පිලිගන්නා විට තවත් දහමක් දෙවියන් සතුව දුර්වලතාවයන් ද පවතින බව පවසයි… මේ ආකාරයට එකින් එකට පරස්පර මෙන්ම විටෙක සමාන ලක්ෂණ පෙන්වන දේව සංකල්ප ලොව පුරාම පමණක් නොව අප රට තුල පවා අඩුවක් නොමැතිව දක්නට ලැබේ. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව විශේෂයෙන් ඉස්ලාම් දහමේ දේව සංකල්පය පිලිබදව විවිධ පැති ඔස්සේ ‘යහමඟ’ අඩවිය තුල ලිපි ගණනාවක්ම මීට ඉහත සාකච්චා කොට ඇත. (එවැනි ලිපියක් නම් ඉස්ලාමීය දේව සංකල්ප යන්නයි) මෙසේ මෙම විෂය පිලිබදව මීට ඉහත ‘යහමඟ’ තරමක් ගැඹූරින් සාකච්චා කොට තිබුණත් පසුගිය දිනක ඉස්ලාම් දහම පවසන සර්වබලධාරී දේව සංකල්පය විශේෂයෙන් අල්ලාහ් (දෙවි)ගේ මැවීමේ හැකියාව අභීයෝගයට ලක් කරමින් අරුම පුදුම පැනයක් අන්තර්ජාලය හරහා ‘යහමඟ facebook’ වෙත රංග ජයවර්ධන නම් පුද්ගලයෙකු විසින් යොමු කොට තිබුණි. මේ හේතුව නිසාම එම පැනයට මෙම ලිපිය තුලින් පිලිතුරුක් ලබාදීමට අදහස් කරන අතර ඊට ප්‍රථම මෙහිදී මූලික වශයෙන් පැහැදිලි කර ගතයුතු කරුණූ කාරණා කිහිපයක් වෙත ‘යහමඟ’ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

මෙහිදී ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම් ඉස්ලාම් දහම තුල පිලිතුරු නැති ප්‍රශ්න යනුවෙන් කිසිවක් නොමැත යන්නයි. නමුත් මනුෂ්‍ය බුද්ධියට ගෝචර වන ආකාරයට විග්‍රහයන් ලබාදීය නොහැකි ප්‍රශ්න දෙකක් ඉස්ලාම් දහම තුල ඇත. ඒ ඉස්ලාම් පවසන කර්මය පිලිබදව වූ විග්‍රහය හා දෙවියන්ගේ හැඩරුව පිලිබදව වූ විග්‍රහය යන්න පමණි. (මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස කථා කොට ඇත). මෙම තත්වය ඉස්ලාම් දහම තුල පමණක් නොව ලොව බොහෝ දහමන් තුල අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන කාරණයකි. උදාහර්ණයක් ලෙස ශ්‍රී ලාංකීය බහුතරයක් පිලිපදින බුදුදහම තුල උත්තර නැති ‘අව්‍යකෘත’ ප්‍රශ්න 10ක් පිලිබදව සදහන් වේ. ඒ කෙසෙ‍් නමුත් ඉහතින් සදහන් ඉස්ලාමයට යොමු කරන ප්‍රශ්නය එවැනි උත්තර දිය නොහැකි ප්‍රශ්නයක් නම් නොවේ. ඒ පිලිබදව කථා කිරීමට මත්තෙන් කෙටියෙන් හෝ අවධානය යොමු කලයුතු තවත් කාරණයක් ද ඇත. ඒ මෙවැනි ප්‍රශ්නයන් සමාජය තුල මතුවීමට මූලික වන හේතු කාරණාවන් කුමක්ද? යන්නයි. ඒ පිලිබදව විමසා බැලීමේ දී එය ප්‍රධාන කොටස් කිහිපයකට වෙන් කොට කථා කලහැක. එනම්,

  • නූතන මිනිසා ආගම දහම අභිභවා විද්‍යාව ඇදහීම,
  • වර්ථමාන මිනිසා තමන්ට සාපේක්ෂව ‘දෙවියන්’ දෙස බැලීම,
  • ආගමික ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය,
  • සත්‍ය වසන් කොට සිතාමතා පුහු තර්ක ගොඩනැඟීම,

ඉහත කාරණා 04න් අවසාන කාරණය හැරුණූ විට අනිකුත් කාරණයන් මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා ‍කොට ඇත. කෙසේ වෙතත් මේ පිලිබදව මෙහිදී කෙටි අවදානයක් යොමු කරන්නේ නම්, වර්ථමාන මිනිසා සියල්ල විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයෙන් බැලීමට පුරුදු පුහුණූ වී සිටිති. එහි සීමාවන් පැහැදිලිව හදුනාගෙන එසේ කටයුතු කිරීමෙහි වරදක් ඇතැයි මා නොපවසමි. එසේ නොමැතිව සියල්ල විද්‍යාත්මක න්‍යායන් හා මතවාදයන් තුල ලඝු කොට කථා කිරීමට තරම් විද්‍යාව පරිපූර්ණත්වය තවම ලඟාකරගෙන නොමැති බවත්, විශේෂයෙන් දේව වාදය කථා කිරීමට තරම් විද්‍යාව තවම දියුණූ මට්ටමක නොපවතින බවත් පැහැදිලිව වටහාගත යුතුය. (මේ පිලිබදව වැඩි විස්තර මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ‘දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂෞප කරයිද?‘ යන ලිපිය තුලින් කියවීමට පුළුවන) එක් පසෙකින් කොටසක් එසේ විද්‍යාව සරණ යන විට නූතන මිනිස් සමාජයේ තවත් පාර්ශවයක් දෙවියන් පිලිබද නිසා අවබෝධයක් නොමැති කමින් මිනිසාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමට ද පුරුදු වී එම මතවාදය ඔස්සේ ක්‍රියා කරයි. මෙය වර්ථමාන සමාජය තුල දෙවියන් සම්බන්ධයෙන් පවතින දෙවන දුර්වලතාවයයි. එනම්, ‘මිනිසුන් වන අපට කරන්නට බැරි දේවල් දෙවියන් කරන්නේ කොහොමද?’ යන්න ඔවුන්ගේ ප්‍රශ්නවල හරයයි. (මේ පිලිබදව ද මෙම අඩවිය තුල  ඉස්ලාමීය දේව සංකල්ප යන ලිපිය මඟින් සාකච්චා කොට ඇත). ඉහත තත්වයන් දෙකටම මූලික වන හේතුවක් ඇත. ඒ දේව වාදයන් පිලිබදව ඒ ඒ ආගම් තුල තිබෙන ඉගෙන්වීමන් කුමක්ද? යන්න පිලිබදව වර්ථමාන සමාජයට තිබෙන අනවබෝධයයි. මීට අමතරව ඉස්ලාම් දහමට පමණක් බලපාන පොදු දුර්වලතාවයක් ද ඇත. එනම්, වර්ථමාන සමාජයේ අනිකුත් ආගම් තුල දක්නට ඇති දේව සංකල්පයන් හා එහි පවතින දුර්වලතාවයන් පදනම් කරගෙන ඉස්ලාමීය දේව වාදය අභීයෝගයට ලක් කිරීමයි. මේ හේතුව නිසා ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය පිලිබදව කෙටි හැදින්වීමක් මෙහි කරන්නට අදහස් කරමි. එනම්,

ඉස්ලාම් දහම ලොව අනිකුත් දේව සංකල්පවලට වඩා බොහෝ සේ වෙනස් වූ දේව සංකල්පයක් ඉදිරිපත් කරන දහමකි. සරලව පවසනවා නම් ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය ‘සර්වබලධාරි’ දේව සංකල්පයකි. එනම් සර්ව (සියළු) මැවීමන් කෙරෙහි බලධාරීයා ඔහු යන්නත්, ඔහු තුල කිසිදු ආකාරයක දුර්වලතාවයක් නොපවතිනවා යන්නත්, එසේ පවතින්නේ නම් ඔහු දෙවියෙකු නොවනවා යන්නත් ඉස්ලාම් උගන්වන දේව සංකල්පයයි. නමුත් ඉස්ලාම් පවසන මෙම ‘සර්වබලධාරී’ දේව සංකල්පය නිසි ලෙස අවබෝධ කර නොගත්, එසේම ඉහතින් සදහන් කලාසේ විද්‍යාවේ ස්ථාවරය, මනුෂ්‍යාට සාපේක්ෂව හෝ අනිකුත් දේව සංකල්පවලට සා‍පේක්ෂව ඉස්ලාම් පවසන දේව සංකල්පය දෙස බැලීම වැනි හේතු රාශියක් මුල්කොට වර්ථමාන සමාජයට ඉස්ලාමීය දේව සංකල්පය ගැටළුවක් වී ඇති අතර ඉහතින් සදහන් පහත අභියෝගය ද එහි එක් ප්‍රථීපලයකි. එම පහත අභියෝගය තුලින් ‘දේව මැවීමන්’ අභියෝගයට ලක් කරන නිසා ඒ පිලිබදව ද කෙටි අවධානයක් මෙහිදී යොමු කරන්නේ නම්, අල්ලාහ් (දෙවි) ශූද්ධ වූ කුර්ආනයේ 2-117 වාක්‍යය මඟින් එය මෙසේ පවසයි. එනම්, ‘ඔහු යමක් මවන්නට (හෝ කාර්‍යයක් සිදුකිරීමට) තීරණය කලවිට ‘වෙනු’ (කුන්) යනුවෙන් පවසන්නේය. එය එසැනින් සිදුවන්නේය.’ මෙම දිව්‍යමය වාක්‍යය මඟින් යමක් මැවීම සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි)ගේ හැකියාව කවර ආකාරයේ එකක් ද? යන්න පැහැදිලිව අවබෝධ කරගත හැක. එනම්, යමක් මැවීම ඔහුට වෙහෙසකර හෝ අපහසු කාර්‍යයක් නොවන බවත්, ඒ සදහා නියෝග කිරීම පමණක් ප්‍රමාණවත් බවත් ඉහත දිව්‍යමය වාක්‍යය මඟින් පැහැදිලි වේ. මැවීම සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) සතු එම අසමසම ගුණාංගය එලෙස අවබෝධ කර ගන්නවා සේම, මැවීම් සම්බන්ධයෙන් මෙහිදී අවබෝධ කර ගතයුතු අල්ලාහ් (දෙවි) සතු තවත් ගුණාංගයක් ද ශූද්ධ වූ කුර්ආනයේ  22-74 වාක්‍යය මඟින් ‘…නියතව අල්ලාහ් (දෙවි) ශක්ති සම්පන්නය. (සියල්ල) අභීභවන්නාය.’ යනුවෙන් අල්ලාහ් (දෙවි) අවධාරණය කරයි. මේ අනුව එනම්, ඉහත 2-117 හා 22-74 වාක්‍යයන්ට අනුව යමක් මැවීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය තරමක් දුරකට ඔබට දැන් පැහැදිලි වනු ඇත. එම කාරණයන් හොදින් මතකයේ රදවාගෙන ඉහතින් සදහන් පැනයට දැන් අවධානය යොමු කරමු. එය මෙසේය…

මුස්ලීම් අයට අපෙන් සරළ ප්‍රශ්නයක්…

“අල්ලාහ්ට, තමාට සෙලවීමට නොහැකි ගලක් මැවීමට පුළුවන්ද?”

මුස්ලීම් අය අල්ලාහ්ව පිළිගන්නවනේ. එහෙනම් ඉහත ප්‍රශ්නයට “ඔව්” / “නැත” වශයෙන් පිළිතුරු දෙන්න බලන්න. වෙන විස්තර දක්වීම කරන්න ඕනැ ඉහත ප්‍රශ්නයට “ඔව්” හෝ “නෑ” කිව්වට පස්සෙයි.

ඉහත ප්‍රශ්නය බැලූ බැල්මට බුද්ධිමත් හා සාධාර්ණ වූ තර්කයක් යන්න ඔබට සිතෙන්නට පුළුවනි. මන්ද ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) ‘සර්වබලධාරී’ නම් ඉහත ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ඉස්ලාම් දහම තුල තිබිය යුතු යයි සිතන නිසාය. මේ හේතුව නිසාම ඉහත පැනය කොතරම් සාධාර්ණ වූ හා බුද්ධිමත් තර්කයක්ද? යන්න ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් දැන් විමසා බලමු.

ඉහත ප්‍රශ්නය ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් කථා කිරීමේ දී එම ප්‍රශ්නය තුල මූලික වශයෙන් විශාල දුර්වලතාවයක් දැකගත හැක. ඒ පිලිබදව කෙටි හැදින්වීමක් ප්‍රථමයෙන් සිදු කරන්නේ නම්, ප්‍රශ්නයක් සදහා දියහැකි කෙටිම පිලිතුර ‘ඔව් හෝ නැත’ යන්න වුවත් එය සෑම ප්‍රශ්නයක් සදහාම සැමවිටම වලංගු එසේත් නැත්නම් ගැලපෙන පිලිතුරක් වන්නේ නැත. සෑම ප්‍රශ්නයක් සදහාම ‘ඔව් හෝ නැත’ යනුවෙන් පිලිතුරු අපේක්ෂා කිරීම අනවබෝධයක් හෝ කුහකකමක් පමණි. මන්ද සමහරක් ප්‍රශ්නවලදී කෙටි පිලිතුරු ලබාදීම සිදුකල නොහැක්කකි. එසේම තවත් සමහර ප්‍රශ්නවල දී ප්‍රශ්නය කොටස්වලට බෙදා කොටස් වශයෙන් පිලිතුරු ලබාදීමට සිදු කලයුතු වේ. එවන් අවස්ථාවන ‘ඔව් හෝ නැත’ යනුවෙන් පිලිතුරු අපේක්ෂා කිරීම සාධාර්ණ වූ ක්‍රියාවක් නොවේ. ඉහත ප්‍රශ්නය යොමු කරන R.J. බෞද්ධ ඉගෙන්වීමන් පිලිබදව උනන්දුවක් දක්වන කෙනෙකු නිසා ඉහත සදහන් කාරණය බෞද්ධ ඉගෙන්වීමන් තුලින් පැහැදිලි කරන්නේ නම්, බුදුන්වහන්සේ හට කිසියම් ප්‍රශ්නයක් යොමු කලවිට එයට පිලිතුරු ලබාදෙන ආකාර 04 ක් පිලිබදව ත්‍රිපිටකයේ සදහන් වේ. එහි එක් ආකාරයක් වන්නේ ‘විභජ්ජ ව්‍යාකර්ණී’ යනුවෙන් හදුන්වන ඉහතින් සදහන් ආකාරයට ප්‍රශ්නයක් කොටස්වලට වෙන් කොට කොටසින් කොටසට විස්තරාත්මක ලෙස පිලිතුරු ලබාදීමේ ක්‍රමයයි. මෙම කාරණය ද හොදින් මතකයේ රදවාගෙන ඉහත ප්‍රශ්නයට අවධානය යොමු කරන්නේ නම්,

ඉහතින් පැහැදිලි කල කරුණූවලට අනුව මෙහිදී R.J. අපේක්ෂා කරන පිලිතුර ‘ඔව්’ හෝ ‘නැත’ යන්න වුවාද, ඉහත ප්‍රශ්නය කථා කරන විෂය සැලකූවිට එම පිලිතුරු දෙකම එහි වලංගු නොවන තත්වය‍ට පත්වේ. මන්ද මේ පිලිතුරු දෙක තුල අල්ලාහ් (දෙවි) ඉතා පටු සීමාවක කොටු කොට දකින නිසාත්, අල්ලාහ් (දෙවි) ‘සර්වබලධාරී’ නොවේ යන්න එම පිලිතුරු දෙක තුල ඉස්මතු කරන නිසාත්ය. තවද මෙහි දී ඉහත ප්‍රශ්න කරු සිතාමතා හෝ අනවබෝධයෙන් අතපසු කොට ඇති කාරණයක් ඇත. එනම් කිසියම් ප්‍රශ්නයක් අභියෝගාත්මක ලෙස ඉදිරිපත් කිරීමේ දී එම විෂය පිලිබදව තමන් කොතරම් අවබෝධයෙන් එය ඉදිරිපත් කරනවාද? යන්නයි. මෙහිදී ඔහු ප්‍රශ්න කරන්නේ සම්ප්‍රදායක දේව වාදයක් සම්බන්ධ නොවේ. ඉස්ලාම් පවසන ‘සර්වබලධාරී’ දේව සංකල්පය පිලිබදවයි. එසේනම් ප්‍රථමයෙන් ඉස්ලාම් පවසන ‘සර්වබලධාරී’ දෙවියන් කවුරුන් ද? ඔහු සතු ගුණාංග මොනවාද? යන්න පිලිබදව අවබෝධයකින් එය සිදු කලයුතුය. එසේ නොමැතිව තමන් විසින් කිසියම් ආකාරයක පූර්ව නිගමනයන්ට එළඹ එතැන් සිට අභීයෝග ඉදිරිපත් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මෙම කාරණය ඉහතින් සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි.

 අල්ලාහ් (දෙවි)ව ඔහුගේ තත්වයට සරිලන පරිදි ඔවුහු තක්සේරු නොකළහ, නියතව අල්ලාහ් (දෙවි)  ශක්ති සම්පන්නය. (සියල්ල) අභීභවන්නාය.

ශුද්ධ වූ කුර්ආනය 22-74

ඉහත දිව්‍යමය වාක්‍යයෙන් අවධාරණය කරන ආකාරයට ප්‍රථමයෙන් කලයුතු වන්නේ ඉස්ලාම් පවසන දේව සංකල්පය ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් ඔහුගේ තත්වයට සරිලන ආකාරයට පැහැදිලිව අවබෝධ කර ගැනීමයි. එම කාරණය දැඩිව අවධාරණය කරන ඉස්ලාම් ඊළඟට ඉහතින් මතු කරන පැනයට ඉතා පැහැදිලි ලෙස හා සරලව ‘…නියතව අල්ලාහ් (දෙවි) ශක්ති සම්පන්නය. (සියල්ල) අභීභවන්නාය’ යනුවෙන් පිලිතුරු ලබාදෙයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය අන්කිසිවක් හා සංසන්දනාත්මකව හෝ සාපේක්ෂව කථා කලහැකි දේව සංකල්පයක් නොවේ. ඉස්ලාම් පවසන දෙවි සියල්ල කෙරෙහි අසීමිත බලයක් ඇති සියල්ල අභිභවන්නාය. මෙය සරලව පවසනවා නම් සියල්ලෙහි ‘උපරිමය ඔහුය’ මෙම කාරණය නිසිලෙස අවබෝධකර නොගෙන තර්ක විතර්ක ඉදිරිපත් කිරීම, එසේම ඇසූ විරු හෝ තමන් විසින් පූර්ව නිගමනවලට එළඹූ කරුණූ පදනම් කරගෙන කිසියම් තර්කයක් ගොඩනැඟීම බුද්ධීමත් ක්‍රියාවක් ද? යන්න මෙහි මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එම කාරණය තමා ඉහත 22-74 වාක්‍යය තුල අල්ලාහ් (දෙවි) ‘අල්ලාහ් (දෙවි)ව ඔහුගේ තත්වයට සරිලන පරිදි ඔවුහු තක්සේරු නොකළහ…’ යනුවෙන් පවසන්නේ. මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනය තවත් තැනක ඉතා අලංකාර ලෙස මෙසේ ද පවසයි.

අල්ලාහ් තම කාර්‍යයෙහි සියල්ල අභිභවන්නාය. නමුත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු මෙය නොදැනගන්නෝය

ශුද්ධ වූ කුර්ආනය 12-21

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් අවධාරණය කරන කාරණය ඉහත අභියෝගය තුල අපට පැහැදිලිව දැකගත හැක. අල්ලාහ් (දෙවි) කිසිවක් මවන්නට සිතන්නේ නම් ඒ සදහා ‘වෙනු’ යන නියෝගය පමණක් ඔහුට ප්‍රමාණවත් බව ඉහත 2-117 වාක්‍යය මඟින් අප දුටුවෙමු. එසේම ඉහත 22-74 හා 12-21 වාක්‍යයන් මඟින් ‘ඔහු සියල්ල අභිභවන්නා’ යන්නත් දුටුවෙමු. එසේ තිබිය දී ‘සියල්ල අභිභවන්නා’ යන්න අභිභවායන කිසිවක් උපකල්පනය කොට තර්ක හෝ අභියෝග කිරීම වාදයකට අලංකාර වුවද එය පදනමක් ඇති තර්කයක් වන්නේ නැත. සියල්ල අභිභවා යාහැකි අසීමිත බලයක් ඇති සියල්ලෙහි උපරිමය එසේත් නැත්නම් උච්චතම තැන සිටින දෙවියන් දෙස බලා ඊට එහා යමක් උපකල්පනය කොට අල්ලාහ් (දෙවි)ට ‘අල්ලාහ් (දෙවි)ට නොසෙලවිය හැකි ගලක් මැවීම…’ යනුවෙන් අභීයෝගයක් ඉදිරිපත් කිරීම තුල ඔහුගේ බලය කිසියම් සීමාවකට යටත් කරන බව පැහැදිලිව අවබෝධ කර ගතයුතුය. මන්ද අල්ලාහ් (දෙවි) බලය, ශක්තිය හා හැකියාව කිසියම් තැනකට සීමා කරන්නේ නම් පමණයි. එය අභීභවා යන තවත් යමක් ගැන කථා කල හැක්කේ. නමුත් ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) සියල්ල අභිභවායන අසීමිත බලයක් ඇති ‘සර්වබලධාරී‍යා’ය. එවන් වූ සර්වබලධාරි දෙවියන් හමුවේ මෙවැනි ප්‍රශ්නයක් සදහා ඉඩක් පැවතිය නොහැකි බව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. එපමණක් මෙම තත්වය අවබෝධකර නොගෙන ඉහත ආකාරයට අභියෝගයන් ඉදිරිපත් කිරීම තුල ප්‍රශ්නකරුට විෂය පිලිබදව තිබෙන අනවබෝධයත් මනාව පැහැදිලි වේ. තවද මෙවැනි ප්‍රශ්නයක් සදහා ඉස්ලාම් දහම තුල ඉඩක් නොමැතිවීම යන්න තුල අල්ලාහ් (දෙවි) ‘සර්වබලධාරී’ යන්නත් තවදුරටත් තහවුරු වේ.

අවසාන වශයෙන් ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ඔබේ බුද්ධිමත් අවධානයට යොමු කරමින් මෙම ලිපියට විරාමය තබන්නට අදහස් කරමි. එනම්,

නියතව (මිනිසුන්ගෙන්) වැඩි දෙනෙකු දැනුමක් නොමැතිව තම සිතෙහි හටගන්නා දෙයට අනුව (මිනිසුන්ව) ස්ථීරවම නොමඟ යවන්නෝය

ශුද්ධ වූ කුර්ආනය 6-119

අබූ අර්ශද් – යහමග ෙවබි අඩවිය

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.