New Muslims APP

ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය අභියස සිටින අද දරුවන් කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි.28

ඉහත අවස්ථා තුනේදීම දරුවා යන්න තීරණාත්මක සාධකය බවට පත්වුවත් එම දරුවා ගමටත්, රටටත් පිවිසෙන්නේ පවුල් ඒකකය තුලින් නිසා මෙහි ප්‍රධාන සංධිස්ථානය වන්නේ පවුල් ඒකකයයි. එම නිසා දරුවන් පිලිබදව කථා කරන විට සමාජයේ සෑම පුරවැසියෙකුගේම වැඩි අවධානය යොමු විය යුත්තේ තම පවුල් ඒකකය තුල සිටින තමා යටතේ වැඩෙන දරුවා පිලිබදවයි. එතැනින් ඔවුනට ලබාදෙන ආදර්ශය තමා සමාජය තුල ඔවුන් යහපත් පුරවැසියෙක් වෙනවාද? එසේත් නැත්නම් අයහපත් පුරවැසියෙක් වෙනවාද? යන්න තීරණය කරන්නේ. ජීවිතයේ මෙම ස්ථානය මඟහැරුණු අවාසනාවන්ත චරිත අප සමාජයේ කොතෙකුත් අසා ඇත්තෙමු. එවැනි චරිත කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

  • ළදරු අවධියේ යුදෙව්වරුන්ගේ දැඩි පීඩනයට ලක්වූ කුඩා හිට්ලර් අවසානයේ නතර වුයේ ලක්ෂ 10 ක් පමණ යුදෙව්වරුන් ඝාතනය කිරීමෙනි.
  • මුසෝලිනී වැනි ඝාතකයන් නිර්මාණය වන්නේ ද ඔවුන් ළමා අවධියේ ලබාගත් අමිහිරි ආදර්ශයන් හේතුවෙනි.
  • තරුණ අංගුලිමාල නිර්මාණ වන්නේත් වැරදි ගුරු මඟපෙන්වීම හේතුවෙනි .
  • සමීපතම මතකය ලෙස උතුරේ හිටපූ කොටි නායකයා නිර්මාණය වන්නේත් දහස් ගණනින් ජීවිත බිලිගත්තේත් ඔහුට ලබාදුන් වැරදි මඟපෙන්වීම හේතුවෙනි.

මේ ආකාරයට ජාත්‍යන්ත‍රයේ හා ජාතිකතලයේ බොහෝ නිදසුන් ගෙනහැර දැක්විය හැක. මේවා ඉතිහාසගත සාක්ෂි වන අතර මෙපමණක් යයි කිසිවකුටත් කිව නොහැක. ඉහත ආකාරයේ චරිත අප අවට සමාජයේ අනන්තවත් දක්නට ඇත. සමහරක් විට අප පවුල් තුලම දක්නට ඇත. ඔවුන්ගෙන් සමහරක් දෙස බලන විට ඉහත ආකාරයේ විනාශයක් “මොවුන්ගෙන් සිදුනොවුයේ ඒ සදහා ඔවුනට අවස්ථාව නොලැබුණු නිසාදෝ” යයි සිතන්නට හැ‍ඟේ. වර්ථමානයේ දරුවන් ඉහත අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවත් මෙම සෑම දරුවකුම තම දෙමාපියන් බිහිකරන්නේ අනේක බලාපොරොත්තු පොදි බැදගෙනය.ළමා දිනය

මෙහි දී සමාජය තුල අඩුවෙන් කථා වෙන නමුත් මුඛ්‍ය කාරණයක් පිලිබදව ඔබගේ අවධානය යොමු කිරීමට මා කැමැත්තෙමි. එනම් සෑම දෙමාපියෙක් තුලම තම දරුවා තුලින් දිනාගත යුතු අත්මාර්ථකාමී බලාපොරොත්තු පොදියක් තිබෙනවා යන්න තිත්ත වූ සත්‍යයයි. එම බලාපොරොත්තුවල පොදු ලක්ෂණ මෙන්ම එකින් එකට පරස්පර වූ ලක්ෂණ ද පවතී. පොදු වූ අපේක්ෂාවක් ලෙස සෑම දෙමාපියෙකුම “තමන්ට බැරි වූ (වයෝවෘද) කල අපේ දරුවන් අපව හොදින් රැකබලා ගතයුතුයි” යන්න ඉන් එකකි. මීට අමතරව පරම්පරාව ඉදිරි‍යට ගෙනයාම, දේපල ආරක්ෂා කිරීම, පවුලේ දියුණුවට කටයුතු කිරීම… වැනි බලාපොරොත්තු රාශීයක් පොදිබැදගෙන තමා දෙමාපියන් දරුවකු මෙලොවට බිහිකරන්නේ. මෙසේ බිහිකරන දරුවා ඔවුන්ගේ ඒ සියළු බලාපොරොත්තු කණපිට හරවමින් තම දෙමාපියන් මහළු නිවාස වෙත යොමු කරන තත්වයට, එසේත් නැත්නම් තම නිවසේම මෙහෙකාර තත්වයට පත්වීමට සිදුවී ඇත. මෙවැනි අවාසනාවන්ත ඉරණමක් ඔවුනට උදාවන්නේ ඇයි? ඔවුන් දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ අපේක්ෂා නොකලයුතු අංගයක්ද? මෙහි කිසියම් තැනක වරදක් ඇති බව නම් පැහැදිලිය. එම වරද සොයායාම අද කාලීන අවශ්‍යතාවයකි. එහි අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි,

“ඔබගේ වස්තූන්ද, දරුවන්ද ඔබට ඉමහත් (පරීක්ෂණයක්) පිරික්සුමක් වශයෙන් ඇත්තේය…

ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවියන්) වස්තූන් හා දරුවන් යන්න මිනිස් සමාජයේ තීරණාත්මක සංධිස්ථානයක් බව අවධාරනය කරයි. එනම් මනුෂ්‍ය දිවියේ වස්තූන් හා දරුවන් යන්න ඔහුට ඇති කඩඉම් දෙකකි. මෙය බැලූ බැල්මට ලොකෝත්තර තත්වයක් පිලිබදව ඉස්ලාම් පවසනවා සේ පෙනුනද? එය හොදින් අධ්‍යනය කරන විට මේ ලෞකික දිවිය හා ලෝකෝත්තර දිවිය යන ‍ක්ෂේත්‍ර දෙකම නියෝජනය වන බව පැහැදිලි වනු ඇත. එනම්,

පවුල් ඒකකයක් තුල අධිකව මුදල් පවතින විටත්, ඒවා නිසි පාලනයක් යටතේ නොපවතින විටත්, එම පවුල් ඒකකය තුල විවිධ වූ ගැටළු පැනනැගේ විශේෂයෙන් එවැනි පවුල්වල සිටින පිරිස් යථාර්ථවාදීව ජීවිතය දකිනවා වෙනුවට විනෝද ජනක කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වයි. මේ හේතුව නිසා සමාජයේ දැකිය යුතු බොහෝ දෑ ඔවුනට ඇස නොගැටී මඟහැරේ. විශේෂයෙන් ධනවතුන්ගෙන් ඉස්ලාම් අපේක්ෂා කරන සමාජ මෙහෙවර ඔවුන්ගෙන් අතපසු වී යයි. මේ හේතුව නිසා තමා ඉස්ලාම් “මා නුඹළාට වස්තූන් ලබාදී එය නුඹලා කුමණ ආකාරයට පරිහරණය කරනවාද? යන්න පරීක්ෂාකර බලමි” යන අදහස ඉහත 8-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් පවසන්නේ.

ඉහත ආකාරයට වස්තූව අභියෝගාත්මක කඩඉමක් වන විට තවත් පසකින් දරුවන්ද එවැනිම කඩඉමක් බව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පවසයි. එනම්, දරුවන් බිහිකර ඔවුනට නිසි මඟපෙන්වීමන් විනයන් ඇති නොකොට පෝශණය පමණක් එකම යුතුකම කරගෙන දරුවන් හදන දෙමාපියන්ට ඉහත අභියෝගය ඇත. තමන් බිහිකරන දරුවා හෙට සමාජයට දායද කරන්නේ යහපත් පුරවැසියකු ලෙසද? අයහපත් පුරවැසියකු ලෙසද? ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව කිසියම් කෙනෙකුගේ මරණයෙන් පසු ඔහුට කුසලක් හිමිවන්නේ නම් එවැනි කුසල ක්‍රියා පවතින්නේ 03ක් පමණි. ඉන් එකක් තමා “යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම” මෙහෙදී අමතක නොකලයුතු කාරණයක් ඇත. යහපත් දරුවකු සමාජයට දායාද කිරීම කුසල ක්‍රියාවක් වනවා සේම අයහපත් දරුවකු සමාජය තුල නිර්මාණය කොටයෑම ඔහුට අකුසල ගෙනදෙන ක්‍රියාවක් බවට පත්වෙනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ අනුව “මා නුඹළාට දරු සම්පත් ලබාදී එය නුඹලා කුමණ ආකාරයට උපයෝගි කරගන්නවාද? යයි පරීක්ෂා කරමි” යන අදහසින් තමා ඉහත 8-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) පවසන්නේ. ඒ අනුව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් පවසන්නේ ඔහුට ලෞකිකව අත්වන ඉරණම පිලිබදව පමණක් ඉලක්ක කරගෙන නොවේ යන්න පැහැදිලිය. මේ අනුව යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීමෙහි මහඟු වගකීමක් දෙමාපියන්හට ඇති බව පැහැදිලිවම පෙනේ. මෙනිසයි වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුවේ,

“පියෙකු තම දරුවන්හට ලබාදෙන දෑ අතුරින් උතුම්ම දායදය අධ්‍යාපනය හැර අන් කිසිවක් නොවේ.”

ග්‍රන්ථය – තිර්මිදි, බයිහකී

ඉහත නබිවදනට අනුව දරුවකු හට ලබාදිය හැකි උතුම්ම දායාදය අධපනයයි. එය තුල ලෞකික, ලෝකොත්තර, ආගමික, විනය, සාරධර්ම… යනාදී සියළු ක්ෂේත්‍ර දැනුම අන්තර්ගත වියයුතු වේ. මේ අනුව ඉහත 8-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පවසන ආකාරයට වස්තූන් මෙන්ම දරුවන් ද ලෞකික මෙන්ම ලෝකොත්තර දිවියේ තීරණාත්මක සාධකයක් බව සමාජය පැහැදිලිවම අවබෝධ කරගතයුතු වේ. ඒ අනුව ඔවුන් කෙරෙහි සමස්ථ වැඩිහිටි සමාජයේ අවංක බුද්ධිමත් අවධානය යොමු වියයුතු යන්න මාගේ අදහසයි.

අබූ අර්ශද්

 

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.