New Muslims APP

කුර්ආනය ගැන දැනගන්න

මිනිස් පරම්පරාව ආදම් (ඇඩම්) (අලෛ) ගෙන් හා හව්වා (ඒවා) ගෙන් ආරම්භ විය. මෙම ජෝඩුව ජීවත් වූ සමාජය, මිනිස් වර්ගයාගේ පළමු සමාජය වේ. එමෙන්ම වර්තමාන සමාජය, අවසාන සමාජය වේ. මිනිස් වර්ගයා ආරම්භයේ සිටම විවිධ 6මති මතාන්තර දරමින් මත භේද පෙන්වූහ. මෙම හේතුව මත සත්ය පැහැදිලි කරදීමේ අවශ්‍යතාවයක් ඇති විය. එහෙයින් මිනිසුන් අතර මත භේද ඇති වූ විෂයන්හි විසඳීම ලබාදීමද අවශ්ය විය. එහෙයින් අල්ලාහ් ඒ ඒ කාලවලදී ඔවුන්ගේ මත භේදවලට විසඳුම් ලබාදීම පිණිස, හා සත්‍ය පැහැදිලි කර දීම පිණිස පුස්තක ලබාදී ඒ ඒ සමාජවලට නබිවරුන්ව යැව්වේය.

මිනිස්සු එකම සමාජයක් ලෙසම සිටියහ. පසුව (මත භේද ඇතිවීම හේතුවෙන්) අල්ලාහ් නබිවරුන්ව සුබාරංචි පවසන්නන් ලෙසද, අවවාද කරන්නන් ලෙසද යැව්වේය. මිනිසුන් මතභේද ඇති කරගත් විෂයන්හි ඔවුනතර විසඳුම් ලබාදීම පිණිස සත්යය ඇතුලත් පුස්තකයද ඔවුන් සමඟ පහළ කළේය. (ශු.කු. 2:213)

අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව විශ්වාස කර, යහකම් කළවුන්ට අල්ලාහ්ගේ සමාව හා ස්වර්ගය ඇතැයි කියා නබිවරු තම ජනයාට ‘සුබාරංචි’ පැවසූහ.

එමෙන්ම, ඉස්ලාමය බොරුවක් බව පවසන අයටද, එය ප්රතික්ෂේප කරන අයටද, එමෙන්ම එම සත්ය මාර්ගය ජනයාට ලං වීමට නොදී එය ජනයාගෙන් වළක්වන්නන්ටද, සම කරන්නන්ටද ‘හිංසාකාරී දඬුවම්’ ඇතැයි නබිවරු අවවාද කළහ.

එමෙන්ම මිනිසුන් අතර ඇති මත භේදවලට විසඳුම් ලබාදීම පිණිස, නබිවරුන්ට පුස්තකද පහළ කළේය. නබිවරු මෙම පුස්තක ආධාර කරගෙනම ඔවුනතර තිබූ මත භේදවලට විසඳුම් ලබා දුන්හ.

ආරම්භ සමාජය වූ ආදම් (අලෛ) හා හව්වා ජීවත් වූ සමාජයේ ආගමික මත භේද නොතිබුනි. නමුත් එයට පසුව පැමිණි සමාජයේ නබිවරයා වූ,  නූහ් (අ‍ලෛ) ගේ  කාලයේදී, ලොව පළමු වතාවට මිනිසුන් අතර ආගමික මත භේද ඇති විය. මෙයට හේතුව එම කාලයේ ජීවත් වූ සමහරු, එම සමාජයේ ආගමානුකූලව ජීවත් වී මරණයට පත් වූ සමහර සැදැහවතුන්ගේ සොහොන්වලට ගොස් ඔවුන්ගෙන් ප්රාර්ථනා කිරීමට ඉදිරිපත්වූහ. ලොව පළමු වතාවට ‘සම කිරීම’ නැමති භයානක පව මෙසේ ආරම්භ විය.

අල්ලාහ්ට ‘සම කිරීම’

‘සම කිරීම’ යනු කුමක්ද?

අල්ලාහ් මිනිසාගේ ස්වාමියා බැවින් තමාට පමණක් නැමදුම් කරන ලෙසට මිනිස් වර්ගයාට අණ කරයි. වැඳ වැටී තම පහත්භාවය පෙන්වීමද උදව්, උපකාර ඉල්ලා ප්රාර්ථනා කිරීමද නැමදුම් වේ. මෙවැනි නැමදුම් තමාට පමණක් කළ යුතු බව අල්ලාහ් පවසයි.

කෙනෙක් පිළිරුවක් අබියසට ගොස් වැඳ වැටී තමාගේ පහත් භාවය පෙන්වයි නම්, එසේ කළ කෙනා පිළිරුව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කළ බව ඉස්ලාමය පවසයි. එනම් කෙනෙක් පිළිරුවක් අබියසට ගොස් වැඳ වැටී උපකාර ඉල්ලයි නම්, කිසිදු හැකියාවක් නොමැති එම පිළිරුවට තමාට පමණක් ඇති හැකියාවක් එම පිළිරුවට ලබාදීමෙන් එසේ වැඳ වැටුන පුද්ගලයා එම පිළිරුව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කළ බව ඉස්ලාමය පවසයි. මෙම ක්රියාව අල්ලාහ්ට ‘සම කිරීම’ ලෙස සැලකේ. මෙම ක්රියාවට තමා කිසිසේත් සමාව නොදෙන බව අල්ලාහ් පවසයි.

නියතව අල්ලාහ් තමාට සම කරනු ලැබීම සමා නොකරන්නේය. එය හැර අනෙක් ඒවාට, ඔහු තමා සිතන්නන්ට සමා කරන්නේය. කවරෙක් අල්ලාහ්ට සම කරයිද ඔහු නියතව මහා පාපයක් ගෙතූකෙනා වන්නේය. (ශු.කු. 4:48)

මිනිසුන් විසින් තමාට සම කරනු ලැබීමේ වරදට තමා සමා නොකරන බවක් අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි. මෙම සමා කිරීමේ භයානක පවෙන් මිඳීමට ඇති එකම මඟ ඉස්ලාමය වැළඳගැනීමය. එසේ ඉස්ලාමය පිළිනොගෙන මරණයට පත්වන්නන්ට දැඩි දඞුවමට මුහුණ දීමට සිදුවන්නේය. කෙනෙක් ඉස්ලාමය වැළඳගත්තේ නම් අල්ලාහ්, ඔහුගේ පසුගිය සියලුම පව් මකා දමන්නේය.

අවසාන පුස්තකය වන ‘කුර්ආනය’ පහළ වීම

අවසාන සමාජය වූ මෙම සමාජයට ‘අල්ලාහ්ගේ දූතයා’ ලෙස තෝරාගනු ලැබූ මුහම්මද් (සල්) තුමා, අරාබි සමාජයට අයත් කෙනෙකි. එනිසා ශු.කුර්ආන‍යේ වැකි පැහැදිලි අරාබි බසින් පහළ විය. දැනට පවතින කුර්ආනයේ සියලුම වැකි පහළ වීමට අවුරුදු 23 ක් පමණ ගත විය. මෙම කුර්ආනය ග්රන්ථයක් ලෙස පහළ නොවීය. ඒ ඒ අවස්ථාවට අනුවද, අවශ්යතාවයට අනුවද පහළ විය. එකල පැවති ජනයා යම් යම් ප්රශ්න තම නබිවරයාගෙන් ඇසූ කල, ඒවාට පිළිතුරු වශයෙන්ද බොහෝ වැකි පහළ විය . සමහර වැකි ජනයාගේ ප්රශ්න කිරීමකින් තොරවද පහළ විය. මේ හේතුවෙන් එකල ඉස්ලාමය වැළඳගත් ජනයාට, මෙම වැකි පහළ වීම තමන්ගේ ස්වාමියා තමන්ව සෘජුව අමතන්නාක් සේ දැනුනේය. කුර්ආනයේ වැකි පහළ වීම ඉස්ලාමය පිළිගත් අයට ඔවුන්ගේ විශ්වාසය තව තවත් අධික කළේය.

දිනක් මුහම්මද් (සල්) ගුහාවක තනිව සිටි කල, පළමු වැකි කීපය පහළ විය. අල්ලාහ් මෙම කුර්ආනයේ වැකි මුහම්මද් (සල්) ට, ජිබ්රයීල් (ගේබ්රියල්) නම් වූ ‘මලක්’වරයා මාර්ගයෙන් දැන්වීය. ‘මලක්’ යන අරාබි වචනයට ‘දේව දූතයා’ යන යොදා ඇත්තෙමු.  මුහම්මද් (සල්) ට, අල්ලාහ්ගේ වැකි දැනුම් දුන් ජිබ්රයීල්(අලෛ) මෙයට පෙර මර්යම්ගේ පුතා වන ඊසා (අලෛ) ටද (එනම් මේරිගේ පුතා ජේසුස්ටද) අල්ලාහ්ගේ පණිවුඩ දැනුම් දුන් දේව දූතයාමය.

මර්යම්ගේ පුතා වන ඊසා (අලෛ) අප ජීවත් වන සමාජයට පෙර තිබූ සමාජයක් වන ‘ඉස්රායීල්ගේ දරුවන්’ට සත්යය පහදා දීම පිණිස යවනු ලැබූ නබිවරයෙකි. නමුත් එතුමාගේ ඉවත්වීමෙන් පසු, ජනයා එතුමාගේ පිළිරූ සාදා එතුමා දෙවියා යැයි කියා නැමදීමට පටන් ගත්හ. එනම් ජේසුතුමාව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කළහ. ජේසු තුමාගේ විශ්මය ජනක ඉපදීමේ සිට මෙලොවෙන් ඈත් වූ සිද්ධිය දක්වා ශු.කුර්ආනය පූර්ණ විග්රහයක් කරයි.

මුහම්මද් (සල්) තුමාට පළමු වැකි පහළ වූ දිනයේදී, එතුමා බියට පත් විය. පසුව එකල විසූ සත්ය  ක්රිස්තු  භක්තියෙක් මුහම්මද් (සල්) තුමා නබිවරයෙක් බවට පත් වූ වග පවසා එතුමාව සන් සුන් කළේය. ජේසු තුමාට පහළ වූ පුස්තකයේ ඊළඟට පැමිණෙන නබිවරයා වන මුහම්මද් (සල්) තුමා ගැනද සඳහන් කර තිබුණි. මෙම කරුණ ගැන කළින් දැන සිටි එම සත්ය  ක්රිස්තු  භක්තිකයා මුහම්මද් (සල්) තුමා නබිවරයා බවට සහතික කළේය. මෙම කරුණ සම්බන්ධව පහත දැක්වෙන ‘හදීස’යෙන් මනාව දැනගත හැකිය.

“නබි (සල්) වරයාට ආරම්භයේදී දේව පණිවුඩ නින්දෙහි පෙනෙන යහපත් සිහිනවලින්ම පැමිණියේය. එවිට එතුමා කවර සිහිනයක් දුටුවද එය අළුයම් කාලයේ උදාවීම සේ පැහැදිලිව තිබෙන්නේය. පසුව තමා තනිව සිටීම එතුමා ගේ කැමැත්ත වූයේය. හිරා ගුහාවෙහි එතුමා තනිව සිටියේය. තමාගේ පවුල හමුවට ආපසු පැමිණීමට පෙර රාත්රීන් ගණනාවක් (එහි නැවතී සිට) නැමදුම් කටයුතුවල නිරතවූයේය. එම දවස්වලට නියමිත ආහාරය තමා සමඟ රැගෙන යන්නේය. එය අවසන් වූ පසු නැවතත් (තමාගේ බිරිය වන) කදීජා (රලි) හමුවට පැමිණෙන්නේය. එසේම දවස් ගණනාවකට නියමිත ආහාරය ගෙන යන්නේය. එසේ වූ මෙම තත්ත්වය හිරා ගුහාවෙහි එතුමාට සත්යය පැමිණෙන තෙක් දික් විය. (දිනක්) මලක්වරයෙක් (එනම් දේව දූතයෙක්) එතුමා හමුවට පැමිණ, ‘කියවන්න!’ යි පැවසුවේය. එයට එතුමා ‘මම කියවීමට නොදන්නෙකු වෙමි’  යි පැවසුවේය. අල්ලාහ්ගේ දූතයා (සල්) මෙම තත්ත්වය පහත සඳහන් පරිදි විස්තර කළේය. ඔහු මාව අල්වා මා දුෂ්කරතාවයට පත්වෙන තරමට තද කර වෙළාගත්තේය. පසුව මාව අතහැර නැවතත් ‘කියවන්න’ යි පැවසුවේය. (එවිටද) ‘මම කියවීමට නොදන්නෙකු වෙමි’  යි පැවසුවෙමි. දෙවන වතාවටද ඔහු මාව අල්වා මා දුෂ්කරතාවයට පත්වෙන තරමට තද කර වෙළගෙන මාව අතහැර නැවතත් ‘කියවන්න’ යි පැවසුවේය. (එවිටද) ‘මම කියවීමට නොදන්නෙකු වෙමි’  යි පැවසුවෙමි. ඔහු මාව අල්වා තුන්වන වතාවටද තද කර වෙළාගෙන, ‘මැවුම්කරුවා වූ ඔබගේ ස්වාමියාගේ ශුද්ධ නාමයෙන් කියවන්න! ඔහුම මිනිසාව ‘අලක්’ (එනම් බිළිඳකුගේ ආරම්භ අවධියෙ) හි සිට මැව්වේය. ‘කියවන්න! ඔබගේ ස්වාමියා අධික කීර්තිවන්තයාය’ යි පැවසුවේය. තවදුරටත් ආයිෂා (රලි) පවසයි. පසුව හදවත් ගැස්සුන කෙනෙකු ලෙස එම වැකි සමඟ (තම බිරිය) කුවයිලිද්ගේ දුව කදීජා (රලි) හමුවෙහි ඇති වූ සිද්ධිය දන්වා තමාට යමක් වේදෝ යි තමා ස්ථීරව බිය වන බවද පැවසුවේය. එවිට කදීජා (රලි) ‘එසේ නොකියන්න! අල්ලාහ් කෙරෙහි දිවුරා! අල්ලාහ් ඔබව කිසි විටෙක නින්දාවට පත් නොකරන්නේය; (මක්නිසාද යත්) ඔබ නෑයන් සමඟ එක් වී සිටිහිය; (දුෂ්කරතාවයෙහි සිටින්නන්ගේ) ඉසුලුම් ඔබ උසුලාගනිහිය; දුප්පතුන් වෙනුවෙන් උපයහිය; අමුත්තන්ට සංග්රහ කරහිය; සත්ය පරීක්ෂාවන්හි (හසුවූවන්ට) උදව් කරහිය’ යි පැවසුවාය. පසුව නබි (සල්) තුමාව තම පියාගේ සොහොයුරා වන  නව්ෆල් නැමැත්තාගේ පුතා ‘වරකා’ හමුවට එක්කරගෙන ගියාය. නව්ෆල් අසදු යන්නාගේ පුතාද අසදු, අබ්දුල් උස්සාගේ පුතාද වේ. වරකා නුගත් යුගයේදීම ක්රිස්තියානි ධර්මය පිළිපැදූ කෙනෙකු ලෙස සිටියේය. තවද ඔහු හීබ්රු ලිවීමට හැකි කෙනෙකු ලෙසද, ඉන්ජීල් පුස්තකය හීබ්රු බසින් ඔහු ලිවිය යුතු යැයි අල්ලාහ් සිතූ ප්රමාණයට ලියන්නෙකු ලෙසද, පෙනීම නොමැති වයස්ගතවූවෙකු ලෙසද සිටියේය. ඔහු හමුවෙහි, කදීජා (රලි) , ‘මාගේ පියාගේ සහෝදරයාගේ පුතාණෙනි! ඔබගේ සහෝදරයාගේ පුතා පවසන දෙයට සවන්දෙන්න!’ යි පැවසුවාය.

එවිට වරකා නබි (සල්) තුමා හමුවෙහි, ‘මාගේ සොහොයුරාගේ පුතාණෙනි! ඔබ කුමක් දුටුවෙහිදැ? යි ඇසීය. නබි (සල්) තුමා දුටු දේ ඔහු හමුවෙහි පැවසුවේය. (එයට සවන් දුන් කල) වරකා, මොහු, මූසා හමුවට ස්වාමියා යැවූ ‘නාමූස්’ (එනම් ජිබ්රීල්) වේ’ යි පවසා, ඔබගේ සමූහයා ඔබව ඔබගේ ප්රදේශයෙන් පිටමං කරන සමයෙහි මා ජීවත්ව ශක්තිමත් තරුණයෙකු ලෙස සිටිය යුතු නොවේද! යිද ශෝකයෙන් පැවසුවේය. එවිට නබි (සල්) තුමා, ‘ජනයා මාව පිටමං කරන්නට යන්නේදැ?’ යි විමසුවේය. එයට ඔහු, එසේය! ඔබ ගෙනා සේ සත්යය ගෙන ආ කවර මිනිසෙක් වුවද (ජනයා විසින්) විරෝධී බවට පත් නොවී නොසිටියේය. (ඔබ පිටමං කරනු ලබන) එම දවස මා ලැබුවේ නම් ඔබට බලවත්ව උදව් කරන්නෙමි’ යි පැවසුවේය. එයට පසුව වරකා දිගු කලක් ජීවත් නොවී මරණයට පත් විය. මෙම පළමු පණිවුඩය සමඟ ‘වහී’ (එනම් දේව පණිවුඩ පැමිණීම) සුළු කාලයකට නැවතුනි.

මූලාශ්රය: බුහාරි ග්රන්ථය – දැනුම් දෙන්නා, ආයිෂා (රලි)

ඉහත ‘හදීස’යෙන් අල්ලාහ්ගේ දූතයාට, පළමුවරට ‘වහී’ පහළවීමද, පසුව එතුමා එතැන් පටන් නබිවරයෙකු වීම ගැනද විස්තරයක් සඳහන් වේ.

මෙම කුර්ආනය දේව දූතයින්ගේ නායක ‘ජිබ්රීල්‘ නැමති දේව දූතයා මාර්ගයෙන් මුහම්මද් (සල්) තුමාට පහළ විය

විශ්වාස කළවුන්ව ශක්තිමත් කිරීම පිණිසද, මුස්ලිම්වරුන්ට යහමඟ ලෙසද, සුබාරංචිය ලෙසද, සත්‍යය මගින් ‘රූහුල් කුද්ස්’ (වන ජිබ්රීල්) ඔබගේ ස්වාමියාගෙන් මෙය පහළ කළේය යි (ඔබ) පවසන්න! (ශු.කු.16:102)

‘රූහුල් කුද්ස්’ යන්න, ‘ජිබ්රීල්’ යන දේව දූතයාට පවසන තවත් නමකි. ඔහු මගින්ම මෙම කුර්ආනය පහළ කළ බව අල්ලාහ් සහතික කරයි. කුර්ආනය පහල වූ එම අවස්ථාවේදී ඉස්ලාමය පිළිනොගත් අය, මෙය නබි(සල්) තුමාම ගොතාගත්තේය. ඔහුට අරාබි නොවන කෙනෙකු විසින් මෙය උගන්වනු ලැබේ යන චෝදනා, ඉදිරිපත් කළෝය. එයට පිළිතුරු දීමක් වශයෙන් මෙසේ පවසන ලෙසට අල්ලාහ් තම නබිවරයාට නියෝග කළේය. අල්ලාහ් ලොවෙහි සියල්ල බලා සිටියි, සවන් දෙමින් සිටියි යන්නට මෙම වැකිය සාක්ෂියක් වේ.

මිනිසාගේ නැමදුමට අයත් එකම සුදුස්සා අල්ලාහ් පමණක් බව මෙම කුර්ආනය සහතික කරයි

(කුර්ආනය වූ) මෙය මිනිසුන්ට දැන්වීමක් වේ. මෙමගින් ඔවුන් අවවාද කරනු ලැබීම පිණිසද, (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා එකම එක්කෙනා යැයි ඔවුන් දැනගැනීම පිණිසද බුද්ධිමතුන් උපදෙස් ලැබීම පිණිසද (පහළ කරනු ලැබීය.) (ශු.කු. 14:52)

මෙම කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම සත්‍යය දන්වයි. අල්ලාහ් විසින් දන්වනු ලැබූ සත්‍යය කවරහු ප්‍රතික්ෂේප කරත්ද, නැතිනම් පිළිනොගනිත්ද, එවැන්නන්ට එලොවේදී දැඩි දඬුවම් ඇති බව අවවාද කරයි. ලොවෙහි ජීවත් වන  ජනයා අල්ලාහ් හැර විවිධ දේවල්වලට නැමදුම් කරති.  තමන් මෙසේ නැමදුම් කරන දේවලට ආරක්ෂාව සැලසීමේ හැකියාව, උපකාර කිරීමේ හැකියාව, මිනිසුන් ඉල්ලන දේ ලබාදීමේ හැකියාව ඇති බවට කිසිවෙකුත් මේ දක්වා සාක්ෂි මගින් ඔප්පු කර නැත.

නමුත් මෙම කුර්ආනය, අල්ලාහ්ට සෑම හැකියාවක්ම ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරයි. එනම් මිනිසුන් නැමදුම් කිරීමට ඇති එකම සුදුස්සා එකම අල්ලාහ් බව සහතික කරයි.  මෙසේ සාක්ෂි ඇතිව තමන් කවරෙකුට නැමදුම් කළ යුතුදැ? යි සාක්ෂිවලින් විමර්ෂණය කර, සත්‍ය සොයාගත් තැනැත්තාට, කුර්ආනය බුද්ධිමතෙකු බව පවසයි.

හේතුව මිනිසාගේ මැවුම්කරුවා වන අල්ලාහ් ලොවෙහි ජීවත් වන අනෙක් සතුන්ට වඩා, මිනිසාට හොඳ, නරක වෙන් කර හඳුනාගැනීමේ බුද්ධියක් ලබා දී ඇත. මෙම බුද්ධිය නිසියාකාරව ප්‍රයෝජනයට ගත් හෙයින් එවැනි අයට බුද්ධිමතුන් යන නම කුර්ආනයෙහි උපයෝගී කෙරේ.

කුර්ආනය මිනිස් වර්ගයාට උපදෙසක් මෙන්ම සිත්වල ඇති වන විවිධාකාර සිතිවිලිවලට පිළිතුරු දෙයි. එමෙන්ම මිනිසාට යහමඟ පෙන්වයි

මිනිසුනි! ඔබලාගේ ස්වාමියාගෙන් ඔබලාට උපදේශයද, සිත්හි ඇති දේට නිවාරණයද, විශ්වාසවන්තයින්ට යහමඟද, කරුණාවද පැමිණ ඇත.(ශු.කු. 10:57)

ඉහත වැකියෙන් අල්ලාහ්, ලොවෙහි ජීවත් වන සියලුම මිනිසුන්ව අමතා මිනිසුනි! යැයි පවසයි. මිනිසාගේ සැබෑ ස්වාමියාගෙන් උපදේශයක් පැමිණ ඇති බව පවසයි. එනම් කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම උපදේශයක් බව පවසයි. මිනිසෙක් කෙසේ තමාගේ ජීවිතය සකසා ගත යුතුදැ? යි මෙම කුර්ආනය සවිස්තරාත්මකව පවසයි. අල්ලාහ්වද ඔහුගේ දූතයාවද විශ්වාස කළවුන්, එය යහමඟ ලෙස අරගනිති. මෙම හේතුවෙන් ඔවුහු අල්ලාහ්ගේ කරුණාවට අයත්වන්නන් වෙති.

අල්ලාහ් මෙසේ සෑම මනුෂ්‍යයෙකුටම ආමන්ත්‍රණය කර පවසන හෙයින්, මෙම කුර්ආනය කුමක් පවසයිදැ? යි නොබලන්නන්ට අල්ලාහ්ගෙන් බේරීමට නොහැකිය.

මිනිසාගේ සිතෙහි ආගමික මත භේද ගැන නොයෙක් හැඟීම් ඇති වේ. මෙම ලෝකයේ සියලු දේ ස්වාභාවිකව සිදුවේද? මැවුම්කරුවෙක් සිටියිද? එසේ නම් එක් කෙනෙක්ද? කීප දෙනෙක්ද? මරණයෙන් පසු නැගිට්ටුවීමක් තිබේද? නැතිනම් මරණයෙන් පසු සියල්ල අවසන් වේද? කළ කම්වලට ඵල දීමක් තිබේද? මෙය කරන්නේ කවරෙක්ද? මේ ආදී වශයෙන් මිනිසාට සිතෙහි නොයෙක් හැඟීම් ඇතිවන්නේය. මෙවැනි සිතිවිලිවලට කුර්ආනයෙන් නිසි නිවාරණයක් ලැබේ. එනම් මිනිසාගේ සිතෙහි මතු වන එවැනි සිතිවිලිවලට කුර්ආනයෙන් පිළිතුරු ලැබෙන්නේය.

මිනිස්සු එකම සමාජයක් ලෙසම සිටියහ. පසුව (මත භේද ඇතිවීම හේතුවෙන්) අල්ලාහ් නබිවරුන්ව සුබාරංචි පවසන්නන් ලෙසද, අවවාද කරන්නන් ලෙසද යැව්වේය. මිනිසුන් මතභේද ඇති කරගත් විෂයන්හි ඔවුනතර විසඳුම් ලබාදීම පිණිස සත්‍යය ඇතුලත් පුස්තකයද ඔවුන් සමඟ පහළ කළේය. පුස්තකය දෙනු ලැබුවෝ තමන් අතර පැවති ඊරAෂ්‍යාව හේතුකොටගෙන පැහැදිලි සාක්ෂීන් තමන් හමුවට පැමිණි පසුද, එ(ම පුස්තකයෙ)හි මත භේද ඇති කරගත්හ. කුමණ සත්‍යයෙහි ඔවුහු මතභේද ඇති කරගෙන සිටියෝද එහි අල්ලාහ් විශ්වාස කළවුන්ට තම අදහස පරිදි යහ මඟ පෙන්වූයේය. තවද අල්ලාහ් තමා සිතන්නන්ව සෘජු මඟෙහි යවයි. (ශු.කු. 2:213)

පුස්තකය දෙනු ලැබුවන් යනු කවුරුන්ද?

නබි(සල්) තුමා ඉස්ලාමය කරා ජනයාව අඬගැසූ කල, එම අවස්ථාවේදී යුදෙව් හා ක්‍රිස්තියානි සමාජද තිබුනි! යුදෙව් සමාජයට ‘තව්රාත්’ පුස්තකයද, ක්‍රිස්තියානි සමාජයට  ‘ඉන්ජීල්’ යන පුස්තකයද අල්ලාහ් විසින් පහළ කර තිබුණි. එම සමාජ දෙක ‘පුස්තක දෙනු ලැබූවන්’ යනුවෙන් හැඳින්වේ.

මෙම සමාජ දෙකෙහි පුස්තකවල අන්තිමට පැමිණෙන නබිවරයා ගැනද සඳහන් කර තිබුණි. තමන්ගේ සමාජ‍යෙන්ම අන්තිම නබිවරයා පැමිණේවි! යි එම සමාජ දෙකම බලාපොරොත්තු වූහ. නමුත් අල්ලාහ් අවසාන නබිවරයාව අරාබි සමාජයෙන් තෝරාගත්තේය. තමන්ට අකැමති සමාජයකින් අන්තිම නබිවරයා පැමිණි හෙයින්, එම සමාජයේ වැඩි පිරිස ඊර්ෂ්යාව හේතුවෙන් කුර්ආනය නොපිළිගත්හ. මෙය ඇත්ත වශයෙන්ම එම සමාජවලට අල්ලාහ් ඇති කළ සෝදිසියකි. එම සෝදිසියේදී වැඩිදෙනෙක් පරාජයට පත් වූහ. නමුත් අන්තිම සමාජයේ මුස්ලිම්වරු එම සමාජවලට දෙනු ලැබූ පුස්තක එම නබිවරුන්ට අල්ලාහ්ගෙන් පහළ වූ පුස්තක බව බේදයකින් තොරව විශ්වාස කරති.

කුර්ආනය මිනිසාට යහමඟ පෙන්වන ආලෝකයකි

මිනිසුනි! ඔබලාගේ ස්වාමියාගෙන් මූලාධාරයක් ඔබලාට පැමිණ ඇත. අප ඔබලාට (කුර්ආනය නැමති) පැහැදිලි ආලෝකය පහළ කර ඇත්තෙමු.(ශු.කු. 4:174)

මිනිසාගේ සෑම ආගමික කටයුත්තකටම කුර්ආනයෙහි හා නබිවරයාගේ ‘හදීස්’ හි මඟ පෙන්වීම එනම් මූලාධාර ඇත. එමෙන්ම මෙය ආලෝකයක් වැනිය. වැරදි මංවල ගොස්, අතරමං වී සිටින, එනම් මංමුළා වී සිටින අයට අන්ධකාරවල හසු වී මඟ නොදන්නා කෙනෙකුට ආලෝකයෙන් මඟ  පෙන්වන්නා සේ මෙම කුර්ආනය වැරදි මාර්ගවල සිටින්නන්ට යහ මඟ පෙන්වයි.

නියතව මෙම කුර්ආනය කීර්තිමත් එකකි

නියතව මෙය කීර්තියෙන් අධික කුර්ආනය වේ. (ශු.කු. 56:77)

මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ්ගේ කීම පමණක් කුර්ආනයෙහි අඩංගු වී ඇත. එහෙයින් එය කීර්තිමත්භාවයෙන් අධික වේ. නමුත් සමහරු නොදන්නා හේතුවෙන් මෙම කුර්ආනයට ගිනි තබති. එමෙන්ම එහා මෙහා වීසි කරති. එසේ කරන්නන්ට මරණින් පසුව භයානක දඞුවම්වලට මුහුණ දීමට සිදුවන්නේය.

මෙම කුර්ආනය ලෝකයේ වෙසෙන සියළුම ජනයාට උපදෙසක් වේ

මෙය ලෝවැසියන්ට  උපදෙසක් හැර වෙන නොමැත. (ශු.කු. 68:52)

මෙය මුළු මිනිස් සමාජයටම උපදෙස් දෙන පුස්තකයක් වේ. මිනිසෙක් තමාගේ ජීවිතය කෙසේ සකසා ගත යුතුද? යන්න ගැන මෙම පුස්තකය උපදෙස් දෙයි. එහෙයින් මෙම පුස්තකය කියවා බැලීම සෑම කෙනොගේම වගකීමක් වන්නේය.

වඩාත් ලොකු සාක්ෂිය අල්ලාහ්ය

‘වඩාත් ලොකු සාක්ෂිය කුමක්දැ?’ යි (නබි) ඔබ අසා, ‘මා හා ඔබලා අතර සාක්ෂිකරු අල්ලාහ්මය’ යි පවසන්න! තවද, මෙම කුර්ආනය මගින් ඔබලාවද, මෙය කවුරුන් හමුවට ළඟා වෙයිද ඔවුන්වද, මා අවවාද කිරීම පිණිස මට මෙය ‘වහී’ (නැමති දේව පණිවුඩ) ලෙස දැනුම් දෙනු ලැබ ඇත්තේය. ‘නියතව අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරු සිටිති යි ඔබලා සාක්ෂි පවසහුද?’ මම එසේ සාක්ෂි නොපවසන්නෙමි යි පවසන්න!’ (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා ඔහු එකම එක්කෙනාය. ‘ඔබලා සම කරන දෙයින් නියතව මම නිවැරදිකරු වෙමි’ යි පවසන්න. (ශු.කු. 6:19)

මෙය පදනම් කරගෙන ජනයාව අල්ලාහ්ගේ මඟ කරා අඬගසන විට බොහෝ දෙනා මෙයට විරුද්ධ වෙති. එමෙන්ම විරුද්ධව කටයුතු කරති. නමුත් මේ සියල්ල අල්ලාහ් ඉවසීමෙන් බලා සිටියි. හේතුව ඔහු අධික ඉවසිලිවන්තයාය. එමෙන්ම ඔහු බලා සිටින බැවින් ඔහුම එයට සාක්ෂිය වේ.

මෙම කුර්ආනය මිනිසාගේ සත්ය මැවුම් කරු වන අල්ලාහ් ඇති කළ මාර්ගය කරා යාමට මඟ පෙන්වයි

මිනිසුන්ව ඔවුන්ගේ ස්වාමියාගේ අනුමැතිය මත අන්ධකාරයන්හි සිට, ප්‍රසංශාවට හිමි, සියල්ලම අභිභවූ කෙනාගේ මඟ වන, ආලෝකය දෙසට පිට කරනු පිණිස අපි මෙය ඔබට පහළ කළෙමු. (ශු.කු. 14:1)

ඉස්ලාමයට පටහැනි මාර්ග සියල්ලම අන්ධකාරයන් සේය. අන්ධකාරයෙන් කිසිවෙකුට යා යුතු නියම මඟ සොයාගත නොහැකිය. අන්ධකාරයේ හසුවූ තැනැත්තා තමා කවර මඟෙහි යා යුතුදැ යි නොදන්නා නිසා, ඔහු අතර මං වී සිටියි. එනම් ඔහු නොමඟක සිටියි. එසේ නැත්නම් ඔහු යායුතු මඟ නොදන්නා නිසා, මං මුළා වී සිටියි. නමුත් කෙනෙක් මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි බව විශ්වාස කිරීමේ හේතුව මත, ඔහු එවැනි අන්ධකාරවල සිට ආලෝකය දෙසට ගමන් කරන්නේය. ආලෝකයේ ගමන් කිරීම හේතුවෙන් ඔහු සත්‍යය වටහා ගන්නේය.

මෙම කුර්ආනය ක්‍රිස්තියානිවරුන්ට අවවාද කරයි

‘අල්ලාහ් (තමාට කියා) දරුවෙකුව අරගත්තේය’ යි පවසන්නන්ට අවවාද කිරීම පිණිසද (මෙය පහළ කළේය.) (ශු.කු. 18:4)

ක්‍රිස්තියානිවරු, ජේසු තුමා අල්ලාහ්ගේ පුතා යැයි පවසති. එසේ පවසන්නන්ට අල්ලාහ් මෙම කුර්ආනය මගින් අවවාද කරයි. ජේසු තුමාගේ උපතේ සිට ලොවෙන් ඈත් වූ සිද්ධිය දක්වා පූර්ණ විස්තරයක් කුර්ආනයෙහි දක්නට ඇත.

විශ්වාස කර යහකම් කරන්නන්ට අල්ලාහ් හමුවෙහි මහඟු කුලිය ඇති බව පවසයි

නියතව මෙම කුර්ආනය වඩාත් අවංක දේ කරා මඟ පෙන්වයි. යහකම් කරන විශ්වාසවන්තයින්ට නියතව මහඟු කුලිය ඇතැ යි සුබාරංචි පවසයි. (ශු.කු.17:9)

මෙම කුර්ආනය වඩාත් අවංක දේ කරාම මඟ පෙන්වන්නේය. එමෙන්ම විශ්වාස කර, යහකම් කරන  අයට මහඟු කුලිය ඇති බවද සුබාරංචි පවසයි. මෙයින් තවත් ප්‍රධාන දෙයක් කියවේ. එනම් විශ්වාස නොකර, යහකම් කරන්නන්ට එලොවේදී කුලියක් නොලැබෙන බවද අල්ලාහ් පවසයි.

කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ නොවූවක් යැයි පවසන්නන්ට අභියෝගයක් කරයි

අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප  පහළ කළ දෙය (වන පුස්තකයෙ)හි ඔබලා සැකයෙන් සිටින්නේ නම් එවැනි පරිච්ඡෙAදයක් ගෙන එන්න. ඔබලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ්ව හැර ඔබලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න. (ශු.කු. 2:23)

ඉහත කුර්ආනයේ වැකියෙන් කාරණා කීපයක් කියවේ. එකක් මුහම්මද් (සල්), අල්ලාහ්ගේ ගැත්තා බව පැවසේ. කෙනෙක් අල්ලාහ්ගේ දූතයා වූ හේතුව මත ඔහුට ගැති බවෙන් මිඳී දේවත්වයට පැමිණිය නොහැකිය. මුස්ලිම්වරු හැර ලොවෙහි සිටින අන් ජාතීන් සියල්ලෝම, තමන්ට ආගම දේශනා කිරීමට පැමිණි සියල්ලන්වම, දේවත්වයට පත් කරගත්හ. දේවත්වයට පත් කිරීම යන්නෙහි අර්ථය, දෙවියෙකුට කළ යුතු කාර්යයක් දේශනා කළ අයට කිරීමය. ඒ හේතුව නිසාම ඔවුහු තමන්ව මැවූ සත්‍ය මැවුම්කරුවා වන අල්ලාහ්ව හැර දමා, තමාගේ දේශකයින්ගේ පිළි රූ සාදා, එයට පුද පූජා කරති.

මුහම්මද් (සල්) තුමාගේ දේහය භූමදානය කළ ස්ථානය සවුදි අරාබියා‍වේ මදීනා නැමති නගරයෙහි ‘මස්ජිදුන් නබවි’ යන පල්ලියෙහි ඇත. මුස්ලිම්වරුන්ගෙන් කුර්ආනය හා හදීස් ගැන අවබෝධයක් නැති පිරිස් මෙම ස්ථානයට ගොස් අභාවප්‍රාප්ත එතුමාගෙන් යම් යම් ඉල්ලීම් කිරීම  එනම් ප්‍රාර්ථනා කිරීම කරති. මෙය ඉස්ලාම් ධර්මයේ තහනම් දෙයකි. මෙය වළක්වාලීම පිණිස, එම රජයෙන් එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද සලසා ඇත. පොලිස් නිලධාරියෙක් එම ස්ථානයෙහි වේවැලක් අ‍තේ තබාගෙන සිටියි. කවරෙක් හෝ මෙසේ කරන්නට ඉදිරිපත්වුවහොත් වේවැලෙන් ඔහුට පහරක් ගසා, ඉතැනින් ඉවත් වන ලෙසට නියෝග කරයි. මෙසේ ප්‍රාර්ථනා කරන්නෝ මුස්ලිම්වරුන් නොවෙති. මෙසේ කරන්නෝ ‘සම කරන්නන්’ වෙති. එනම් තමාගේ නබිවරයාව අල්ලාහ්ට සම කරන්නෝ වෙති. එතුමා මිය යාමට පෙර මේ ගැන ජනයාට අවවාද කළේය.

මුහම්මද් (නබි) සල් තුමාද අල්ලාහ්ගේ ගැත්තාමය

“නබි (සල්) තුමා, ‘ක්‍රිස්තියානිවරුන් මර්යම්ගේ පුතා ඊසාව (සීමාව ඉක්මවා ප්‍රසංශා කර, දේවත්වයට) උසස් කළා සේ ඔබලා මාව උසස් නොකරන්න. මක්නිසාද යත්, මා අල්ලාහ්ගේ ගැත්තාමය. (එසේ මා ගැන යමක් පවසන්නේ නම්) ‘අල්ලාහ්ගේ ගැත්තා’ යැයිද ‘අල්ලාහ්ගේ දූතයා යැයිද පවසන්නැ’ යි පැවසුවේය” යි (‘මිම්බරය’ මත) හිඳිමින් උමර් (රලි) පැවසූ දෙයට මම සවන් දී ඇත්තෙමි.

දැනුම්දෙන්නා: ඉබ්නු අබ්බාස් (රලි), මූලාශ්රය : බුහාරි ග්‍රන්ථය

එහෙයින් අල්ලාහ්ගේ ගුණාංග නබි (සල්) ට ලබා දී, එතුමාව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් නොකරන ලෙස නබි (සල්) පැවසුවේය.

‘මිම්බරය’ යනු, මුස්ලිම්වරුන්ගේ පල්ලිවල ‍දේශනාව සඳහා උපයොගී කරන කුඩා වේදිකාවය.

කුර්ආනයේ 2:23 වැකියෙන් පවසන අනෙක් කාරණාව, මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූවක් නොව, මිනිසා විසින්ම ගොතා ගත් දෙයක් යැයි කවරෙක් හෝ සැක කරයි නම්, මෙම කුර්ආනයේ පරිච්ඡේදයක් සේ වෙනත් පරිච්ඡේදයක් ගෙන එන ලෙස අල්ලාහ් අභියෝග කිරීමය. එයට හේතුව යම් කෙනෙක් යම් ක්‍රියාවක් කරයි නම්, තවත් කෙනෙකුටද උත්සාහ කළොත් එය කළ හැකි බව යන්නය. කුර්ආනයේ වැකි මිනිසෙකුගේ දැනුමෙන් තොර, අල්ලාහ්ගේ දැනුමෙන් ඇති වගක් එය කියවන්නන්ට වඩාත් පැහැදිලි වේ.

කුර්ආනය කොටස් වශයෙන් පහළ වූ වග කුර්ආනයම පවසයි

නියතව අපිම මෙම කුර්ආනය කොටස් වශයෙන් ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (ශු.කු. 76:23)

කුර්ආනය එක සැරින් පහළ නොවී, කොටස් වශයෙන් පහළ වූ බව කුර්ආනයම සාක්ෂි දරයි.

ජිබ්රීල් (අලෛ) නැමති දේව දූතයාම මෙම කුර්ආනය නබි (සල්) තුමාට ඉගෙන්වූයේය.

ශක්තියෙන් අධික, ලක්ෂණ පෙනුමෙන් යුත් කෙනා (වන ජිබ්රීල් නම් මලක්වරයා) ඔහුට ඉගෙන්වූයේය. (තම ස්භාවික පෙනුමෙන් නබිවරයා හමුවෙහි) සීරුවෙන් සිටගත්තේය. (ශු.කු.53:5,6)

ජිබ්රීල් නම් ‘මලක්’වරයා  (එනම් දේව දූතයා) මගින්, අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් (සල්) ට, කුර්ආනය ඉගෙන්වූ බව අල්ලාහ් මෙහිදී පවසයි. ජිබ්රීල් (අලෛ) මනුෂ්‍යයෙකු ලෙස වෙස් ගෙන, අල්ලාහ්ගේ දූතයා හමුවට පැමිණ, මෙම අල්ලාහ්ගේ පණිවුඩ (එනම් ‘වහී’) දැන්වූයේය. මලක්වරුන්ට යැයි රූපයක් ඇත. මුහම්මද් (සල්) ගේ ජීවිත කාලයේදී, එතුමා ජිබ්රීල් (අලෛ) ව, දෙවතාවක් ඔහුගේම  රූපයෙන් දැක ඇත. අනෙක් සෑම අවස්ථාවකදීම ජිබ්රීල් (අලෛ) මනුෂ්‍ය වෙසින් පැමිණියේය.

වරින් වර පහළ කළ කුර්ආනය නබිවරයාගේ හදවතෙහි එක්රැස් කිරීම හා එය නිසියාකාරව කියවීමට සැලැස්වීම තමාගේ වගකීමක් වූ බව අල්ලාහ් පවසයි

නියතව එය එක්රැස් කිරීමද එය කියවීමට සැලැස්වීමද අපගේ වගකීමක් වේ. (ශු.කු.75:17)

කුර්ආනය ගැන හැඳින්වීමක්

ජිබ්රීල් (අලෛ) විසින් දැනුම් දෙනු ලබන කුර්ආන් වැකි නබි (සල්) ගේ සිතෙහි එක්රැස් කිරීමද එය කියවීමට සැලැස්වීමද තමාගේ වගකීමක් බව අල්ලාහ් පවසයි. එහෙයින් නබි (සල්) ‍ට දැනුම් දුන් කුර්ආන් වැකි කිසිවක් අමතක වූ බව හෝ අත්හැරී ගිය බව හෝ කිසිම කෙනෙකුට කිව නොහැකිය.

මේ හේතුව නිසාම මුහම්මද් (සල්) මුළු කුර්ආනයම තම මතකයෙහි තබාගත්තේය. එතුමා පමණක් නොව එතුමාගේ මිතුරන්ගෙන් සියගණනක් මෙම කුර්ආනය තම මතකයෙහි තබාගත්හ. තමා දැන්වූ තමාගේ වදන් එනම්, කුර්ආන් වැකි නිසියාකාරව නොවෙනස්ව ජනයා හමුවට සැළ කිරීම පිණිස අල්ලාහ් මෙම කටයුත්ත අකුරටම ඉටු කළේය. වර්තමානයේදී පවා කුර්ආනය සම්පූර්ණව මතකයේ තබාගත් මුස්ලිම්වරු දහස් ගණනක් සිටිති. මෙය අල්ලාහ් තමාගේ ආගම ආරක්ෂා කිරීම පිණිස සැලසුම් කළ කාර්යයකි.

එහෙයින් නැමදුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් පමණකි යන්න මෙම කුර්ආනය තහවුරු කරයි. මෙම කුර්ආනය මිනිසුන් හමුවෙහි ඇති මත භේදවලට විසඳුම් ලබාදෙන පුස්තකයකි. වැරදි මාර්ගවල සිටින්නන්ට අවවාද කරන්නකි. එමෙන්ම එය පිළිගත්තවුන්ට ලැබෙන සමාව හා ස්වර්ග ගැන පවසන පුස්තකයකි. එමෙන්ම මෙම කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම යහමඟ පෙන්වීම පිණිස, අල්ලාහ්ගෙන් පැමිණි පුස්තකයකි. එනිසා මෙම පුස්තකය කියවීම සැමදෙනාගේ වගකීමක් වේ.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.